info tag
udawalawe tag

 
 
 
 footprint  footprint  footprint
About
US
Contact
Us
Login
maduwanwela sinhala tab english tab

 වවුල්පනේ ගුහාව 

blueline

 
  • සොබාදහමේ අසිරිමත් නිමැවුමක් වූ වවුල්පන හිරිගල් ගුහාව

  • පිහිටීම

  • ප්‍රවේශ මාර්ග

  • වවුල්පනේ ගම නිර්මාණය වූ ආකාරය

  • වවුල්පන පිහිටි හිරිගල් ගුහාවේ ඇති පිහිටීම සහ එහි වැදගත්කම

  • මෙම හුණුගල් ගුහාව වවුල්ලෙන ලෙස හදුන්වන්නේ ඇයි?

සොබාදහමේ අපූර්ව නිර්මාණ මානවයා වෙත රැගෙන එනුයේ අසිරිමත් සිතුවිලිය. ස්වභාවධර්මයේ අසමසම නිර්මාණශීලීත්වයෙන් ලෝකයේ කවර රටක ජීවත් වන මානව කොට්ඨාශයකට වුව ද ආශ්වාදයක් ලැබිය යුත්තේමය. එහෙත් මානවයාට අවශ්‍ය පරිදි ස්වභාවධර්මයා නිමැවුම් ජනිත කරන්නේ ද නැත. ලෝකයේ කවර දේශයක, රටක, භූමි භාගයක සැරිසරන මානවයෙකුට ස්වභාවධර්මයේ නිමැවුම්හි ආශ්වාදය විදිය හැක්කේ ඊට සරිලන මනසක් සකසා ගැනීමෙන් පසුවය. ශ්‍රී ලංකාව එවැනි මානසික වටපිටාවක් සකසා ගැනීමේ ස්වභාවධර්මයේ අපූර්ව නිර්මාණ රැසක් ජනිතව ඇති උත්කෘෂ්ඨ භූමි භාගයකි. ස්වභාවධර්මයේ අසාමාන්‍ය නිර්මාණශීලීත්වය ඒ රටේ ‍සෞභාග්‍යයට හේතුවකි. ස්වභාවික හේතූන් මත ජනිත වූ අපූර්ව නිර්මාණ ගොන්නක් හිමි රටවල් අතුරින් ශ්‍රී ලංකාවට ලැබෙනුයේ සුවිශේෂී ස්ථානයකි.

ලෝකයේ රටවල් අතුරින් කිහිපයක් පමණක් මෙවැනි ස්වභාවික නිර්මාණයන්ට හිමිකම් කියයි. ඒ අතුරින් ඇමරිකා එක්සත් ජනපදය, යුගෝස්ලියාව, මහජන චීනය වැනි රටවල් පෙරට එයි. එකී රටවල් ස්වභාවික නිමැවුම් අතිශයෙන් වටිනා සංචාරක මධ්‍යස්ථාන බවට පත් කොට මහත් ආදායමක් උපදවයි. ශී ලංකාවේ වවුල්පනේ ස්වභාවික ගල්ගුහාව හුණුගල් ගුහාවකි.  ලෝකයේ විශේෂයෙන් ................. රටවල්හි හුණුගල් නිර්මාණ ආශ්‍රිතව අධීක මූල්‍ය ප්‍රතිලාභයක් ඒ රටවල් ලබයි.  ඒ අතුරින් චීනයේ ක්වෙයිලින් හා ශඔෂිං  යන ප්‍රදේශවල ඇති හුණුගල් ගුහා ලෝකප්‍රකට ධන උපයන ස්ථානයෝය. ලොව සුප්‍රසිද්ධ විද්‍යාඥ්ඥයින්, සංචාරකයින්, පරිසරවේදීන්  පමුඛ කොටගත්  තවත් විවිධ වර්ගයේ මානව කොටස් මෙම හුණුගල් ගුහාවන්හි පහස ලබයි.

පිහිටීම  
ශී ලංකාවේ සබරගමු පළාතේ රත්නපුර දිස්තික්කයේ කොළොන්න පාදේශීය ලේකම් කොට්ඨාශයේ  කුඹුරතුගමුව ග්‍රාමසේවා වසමේ වවුල්පනේ නම් ග්‍රාමයේ පිහිටියේය. මුහුදු මට්ටමෙන් අඩි 912ක් පමණ උසින් පිහිටා ඇති මෙම ගුහාව නිවර්තන තෙත් දේශගුණික කලාපයට අයත්ය. නිරිත දිග ඊසාන මෝසම් වැසි වාර දෙකක් වාර්ෂිකව මෙම මේ පළාතට ලැබෙයි.  එය වාර්ෂිකව මි.මි.4500 ක පමණ වර්ෂාපතනයකි. සාමාන්‍ය වාර්ෂික උෂ්ණත්වය අංශක 30ක් පමණය. කදු බෑවුම් සහිත ඝන වනාන්තරයක් මැද පිහිටි මේ ගුහාව හුණුගල් කන්දක් පාමුල පිහිටියේය.  හුණුගල් තට්ටුවක පිහිටි, මෙම ස්වභාවික නිර්මාණය එක් පසෙකින් බුළුතොට  කදුවැටියෙන් ද අනෙත් පසින් පල්ලෙබැද්ද කදුවැටියෙන් ද වටවී පිහිටා ඇත.

ප්‍රවේශ මාර්ග

ස්වභාව ධර්මයාගේ අපූර්ව නිර්මාණයක් වූ මෙම හිරිගල් ගුහාවට පවිශ්ට විය හැකි පධාන මාර්ග කිහිපයකි.

තුන්තොට පල්ලෙබැද්ද හන්දියෙන් හැරී බුළුතොට මාර්ගයේ කි.මි.10ක් පමණ ගොස් මීට ළගා විය හැකිය.

සූරිය කන්ද - ඇඹිලිපිටිය මාර්ගයේ කි.මි.15ක් ගිය විට වවුල්පනේ ගාමය හමු වේ.

කොළඹ - ඇඹිලිපිටිය  පධාන මාර්ගයේ කොළඹගේආර වවුල්පන මාර්ගයේ ඇව්ත් මීට ළගා විය හැකිය.

වවුල්පනේ ගම නිර්මාණය වූ ආකාරය

මුළින්ම මේ පළාත ගම්මු හදුන්වා ඇත්තේ වවුල්ලෙන වශයෙනි. පසුව එය වවුල්පෙන ලෙස භාවිතයට පැමිණ ඇත. දැනට එය වවුල්පන ලෙස භාවිතයට ගනී.

වවුල්පන පිහිටි හිරිගල් ගුහාවේ ඇති පිහිටීම සහ එහි වැදගත්කම

1942 වසරේ ප්‍රාදේශයීය මිනුම් කටයුතු සදහා පැමිණි එස්.ප්‍රෑන්ස් නැමැති මිනුම් නිළධාරියා මෙම හුණුගල් ගුහාව ප්‍රදේශය සදහා අක්කර 29යි, රූඩ් 20ක් වෙන් කර ඇත.  හුණුගල් ගුහාව දිගින් අඩි 450ක් පමණ වෙයි. එකිනෙකට සමාන්තරව ඇතුල්වීමේ දොරටු 02කි. ප්‍රධාන හුණුගල් ගුහාව හැරුණුවිට තවත් ගුහා 12ක් පමණ ඇත.  ශ්‍රී ලංකාවේ පැරණිතම හා විශාලතම හුණුගල් ගුහාව නැතහොත් අභ්‍යයන්තර දිය ඇල්ලක් සහිත ලෝකයේ එකම නිර්මාණය මෙය විය හැකිය. ලෝකයේ වෙනත් රටවල් ස්වල්පයක හුණුගල් ගුහා දැකිය හැකිමුත් ඒවායෙහි මේ තරම් විශාල දිය ඇල්ලක් නැත.1960 දශකයේ මෙම ගුහාව පිළිබදව පර්යේක්ෂණයක යෙදුණු ප්‍රංශ සහ ලාංකික භූ විද්‍යා සමීක්ෂණ කණ්ඩායමක් පවසනුයේ මෙය වසර 500කට වඩා පැරණි බවය.

ගුහාවට ප්‍රවිශ්ට වන දොරටුව උස මීටර් 7ක් පමණ වන අතර එහි පළල මීටර් 5ක් පමණය. ගුහාව අභ්‍යයන්තරයේ උස සහ පළල  විටින් විට වෙනස් වෙයි. ඝන අන්ධකාරය පිරුණු හුණුගල් ගුහාව තුළ තැනින් තැන ගල්පර අතර කුඩා දිය කඩිති  හා දියපාරවල් දැකිය හැකිය.  වළවේ ගගේ ශාඛාවක් වන අදොළු ගගේ දකුණු ඉවුරේ පිහිටි හල්විනි දොළ වවුල්පනේ ප්‍රධාන හුණුගල් ගුහාව තුළින් ගලා බසී.  මෙම අභ්‍යයන්තර දිය ඇල්ල උසින් අඩි 135ක් පමණය.  මෙම දිය ඇල්ලේ පිහිටීම ද හරිම අපූරුවය. හුණුගල් පර්වතය මත්තේ පිහිටි කහ පැහැති කිවුල් දිය උල්පත මතින් උතුරා  යන දිය දහරාව හුණුගල් ගුහාව වෙත පැමිණ සුන්දර දිය ඇල්ලක් මවයි. උල්පත ආරම්භ වූ  ස්ථානයේ සිටම අඩි 250ක් පමණ ගලා යන පිටාර උල්පත් දිය දහරාව ආඩාරය නම් වූ ගිරිකපොල්ල තුළින් හුණුගල් ගුහාවට ප්‍රවේශ වෙයි. ගැමියන් එය භාවිතයට ගන්නේ ............................. ලෙසිනි.  ගුහාව ඇතුළට පිවිස හුණුගල් ගුහාව තුළ අභ්‍යයන්තර දිය ඇල්ලක් නිර්මාණය කරයි. දිය ඇල්ලේ දිය දහරා ගුහාවේ පසුපස විවරයෙන් එළියට විත් පිටකුඹුරේදී ආරච්චිකුඹුරෙන් එන ගගට එක් වේ.

ගුහාවේ චමත්කාර ජනිත භූ රූප නිර්මාණවලියට පිටුබලය සපයා ඇත්තේ කිවුල්දිය දහරා ගලායෑමේ දී සිදුවන දිගුකාලීන රසායනික ජීරණ ක්‍රියාවලියක ප්‍රතිඵලයයි. කිවුල් දිය කැන්දව මගින් හිරිලඹ සහ ගිරිටැඹ නිමවා තිබේ. හිරිලඹ ගුහාවේ පියස්සේ සිට එල්ලෙන (stalactite) හා පොළොව මත පතිත වී ක්‍රමයෙන් උසට තිඹුණු ස්තම්භ බවට පත් වූ ගිරිටැඹ (stalagmite) නිර්මාණ දෘශ්‍යමානය. මෙම ලඹ සහ ටැඹ  මගින් විවිධ හැඩතල නිර්මාණය වී ඇති අතර ඒවා තුළින් විනෝදකාමීන්ගේ සිත් තුළ විශ්මය ජනිත කරයි.  නිර්මාණ ගුණයෙන් යුක්ත එම හැඩතල මානවයා අමුතුම ලොවක් වෙත රැගෙන යයි. එක් අතකින් යෝධ නුග රුකක් ස්වකීය ශාඛාවන්හි විවිධ පද්ධතීන් ගස වටා යවමින් ද, ගස් අතු අතරින් කඩා හැලෙන / එල්ලෙන පොළොවට යාවුණු අනුබලට මුක්කු ගැසූ ලෙස මෙම  ස්වභාවධර්මයේ  නිර්මාණය හදුනා ගත හැකිය. බිත්ති දිගේ දක්නට ඇති විවිධ හැඩතල නරඹන්නන් කුල්මත් කිරීමට සමත් වෙයි.

හුණුගල් ගුහාවේ ඉහළ සිට පහළට කාන්දවන කැල්සියම් කාබනේට් මිශ්‍ර ජලය නිසා බිම පතිත වන විට ඇතිවන ජ්‍යාමිතික හැඩතල ලක්ෂණ චිත්තාකර්ෂණීය දර්ශනය. මෙම විවිධ  ජ්‍යාමිතික හැඩතල සිත් සේ රස විදිය හැක්කේ සුවපහසු මල් යහනාවක වැතිරී සිට නොවේ. ඇස් නිලංකාර කරවන අන්ධකාරය ද, ගල්පරවල හැපෙමින් ද, විවිධ දුර්ගන්ධයන් පිරුණු වටපිටාවක, සතා සීපාවගේ ගොරහැඩි ඝෝෂාවන්ට අවනත වෙමින් ද මේ ගුහාවේ අසිරිය විදිය යුත්තේය. එය ස්වභාවධර්මයා විසින්ම මානවයා වෙත පැනවූ නීතියකි.  ඹබ පරිසරය, ස්වභාව ධර්මය ආරක්ෂා කර ගනිමින්ම එය බුක්ති විදිය යුතුය. එයයි සොබාදහමේ නීතිය.

කැල්සියම් කාබනේට් මිශ්‍ර ජලය විසින් නිර්මිත හිරිලඹ පැහැදිළි රූපරාමු මවා තිබේ. ඒ අතුරින් පත්‍රාකාර (විවිධ ගස් කොළන්හි කොළයේ හැඩය) විදුලි බුබුළු හැඩය (බල්බාකාර) ජෝඩු රූපාකාර පැහැදිළිව දිස් වෙයි. 

මෙම හුණුගල් ගුහාව වවුල්ලෙන ලෙස හදුන්වන්නේ ඇයි?

වවුලන් එකෙක් දෙන්නෙක් නොව සිය දහස් ගණනක් වෙසෙන තැනක් සිතට නගා ගත හැකිය. ලංකාවේ ප්‍රසිද්ධ මහවැලි ගං තීයෙත්, කැළණි ගං මිටියාව‍තෙත්, කළු ගග ආශ්‍රිතවත්  වෙසෙන්නේ වවුලන් දහස් ගණනකි. එහෙත් වවුලන් ලක්ෂ 10කට ආසන්න වවුල් ජනපදයකි, මෙම හිරිගල් ගුහාව. එහි වවුල් විශේෂ 07ක් පමණ වෙසෙන බව පරිසරවේදීන් හා සත්ව විද්‍යාඥ්ඥයින්ගේ මතයයි. වවුලන් ලක්ෂ 07කගේ පමණ ආහාර පරිභෝජනය විවිධ කෘමීන් දඩයම් කිරීමෙනි. තවත් ලෙසකට කිවහොත් ලක්ෂ 07 ක වවුලන් මාංශ භක්ෂිතය. හිරිගල් ගුහාවේ පිටවීමේ දොරටුවට දකුණු පසින් ඉහළින් වවුල් ජනපදය පිහිටා ඇත. වවුලන් පැටවුන් බිහිකිරීම සදහා යොදාගෙන ඇත්තේ එම වවුල් ජනපදයේ පිහිටි මල්වතු කාමරයයි. එක් පසෙකින් මෙම හුණුගල් ගුහාවේ වවුල් ජනපදය පිළිබද වෙනම ශාස්ත්‍රීය පර්යේෂණයක් පැවැත්වීමට හැකි සාක්ෂි ඇතුළත් කෝෂ්ඨාගාරයකි. ජෛව විවිධත්වයකින් යුතු හුණුගල් ගුහාව කේන්ද්‍රකොටගත් සත්ව වර්ග රාශියකි. ඒ අතුරින් සමනල වර්ග, සලඹ වර්ග, ලක්ෂ ගණනක් වන දැලියන්, කැරපොත්තන්, සර්පයින්, කටුසු වර්ග, මැඩියෝ සහ තවත් කෘමීන් විශේෂය.

 

ශ්‍රී ලංකාවේ සිංහරාජ වනයේ දී හමුවන ශ්‍රී ලංකාවට ආවේණික වූ කුරුළු වර්ග රැසක් ද හුණුගල් ගුහාව ආශ්‍රිතව දැකිය හැකිය. ඒ අතරින් මොණරා, වළි කුකුළා, ගිරා මලිත්තා, කොබෙයියා දැකිය හැකිය. එමෙන්ම ශ්‍රී ලංකාවේ වියළි කලාපය නිජබිම කරගත් රතු කොළ පැහැති කටුස්සා ද ඇතුළු තවත් කටුසු වර්ග දැකිය හැකිය. ඉතා විශාල ප්‍රදේශයක පැතුරුණු හුණුගල් තට්ටුව මතුපිට කාබනික පසේ විවිධ ප්‍රමාණයේ හා වර්ගයේ වෘක්ෂ ලතා දැකිය හැකිය. ශ්‍රී ලංකාවට  පමණක් ආවේණික වෘක්ෂ ලතා වර්ග ප්‍රමාණය 100 ඉක්මවා සිටී. සිංහරාජ වනයේ හමුවන ඇතැම් වෘක්ෂලතා මෙන්ම බිං කොහොඹ, වන රාජ, නගා මැරූ අල, වැනි දුර්ලභ ගනයේ ඖෂධ පැළැටි රැසක් ද මෙහි ඇත.

මීට අමතරව ගොඩපර, හල්මිල්ල, සපු, හොර, දෙල්, නා, මී, මිදෙල්ල, කුඹුක් වැනි යෝධ වෘක්ෂ ලතා ද යටි වගාවන් ලෙස වැඩුණු උණ බට, වේවැල්, මී වන, උඩන්ඩිය, පැළෑටි ද දැකිය හැකිය. එමෙන්ම වැදි ජනයා මස් වර්ග කල්තබාගැනීමට ප්‍රයෝජනයට ගත් සහ දැනටමත් ගනු ලබන ඇට වර්ගයක් වන අඩි 15ක් පමණ උසට වැඩෙන රිටිගස් ද අතරින් පතර දැකිය හැකිය. හුණුගල් ගුහාවට නුදුරින් පිහිටි මඩුගස් ගහනයකින් ද මේ ප්‍රදේශය සැදුම්ලත්ය.

. හුණුගල් ගුහාවට බැදුණු අනෙත් කාරණය වනුයේ හුණුගල් පර්වතය මතුපිට පිහිටි කහ වර්ණ කිවුල් දිය උල්පතයි. කැල්සියම් කාබනේට්, අයත් හයිඩොක්සයිඩ්, මැග්නීසියම් වැනි ඛණිජ වර්ග අඩංගු හෙයින් ජලය කහ පැහැයක් ගෙන තිබේ. මෙහි ජලය ස්නානය කිරීමෙන් චර්ම රෝග සුවවෙන බවට පැරණි විශ්වාසයකි. මීට අමතරව ගුහාවෙන් පිටවන තැනට නොදුරින් කිවුල්දිය උල්පතින් පිටාර ගලන ජලයෙන් සුසැදි  ජලපීල්ලෙන් ස්නානය කිරීමට බොහෝ දෙනෙක් පෙළඹී සිටිති. එක් පසෙකින් එය එසේ කිරන්නටත් සිදුව තිබේ. ඊට හේතුව නම් ගුහාව තුළ සංචාරයෙන් වවුල් වසුරු ශරීරයේ දැවටී ඇතැයි යන හැගීමත් එයින් පිරිසිදු වීමත් හේතු කොටගෙනය. කිවුල් දිය නෑමෙන් සමේ රෝග සුව වන විද්‍යාත්මක න්‍යාය සේම ආගන්තුක සංචාරකයෙකුට ස්වභාවික දිය පිහිල්ලකින් ස්නානය කිරීමට අවකාශ සැලසීම ද ජීවිත සංතුෂ්ටියක් ම වන්නේය.

 

වවුල්පනේ ග්‍රාමයේ  සහ ඒ අවට ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය විවිධ භෝග වගාවන් සිදුකිරීම හා වී වගාවයි. එම පළාත්වාසීන්ගේ හැගීම වනුයේ කුඹුරු වී නිෂ්පාදනයේ නව ප්‍රභේද මෙම පළාතේ වී වලින් ලබා ගත හැකි බවයි. ඊට හේතු ලෙස ‍ඔවුන් දකින්නේ අඩු ආලෝක තත්වයක් යටතේ නිෂ්පාදනය වූ වී වගාව කරනා තවත් ප්‍රභේද ඇති කර ගැනීමේ පහසුවයි. එමෙන්ම එම බීජ පළිබෝධවලට හොදින් ප්‍රතිභේද දැක්වීමයි.

මේම හුණුගල් ගුහාව පිළිබදව විවිධ පර්යේක්ෂණ කණ්ඩායම් සහ පුද්ගලයින්  පරීක්ෂණ පවත්වා ඇත. ඒ අතරින්

1963 වසරේදී ප්‍රංශ භූ විද්‍යා කණ්ඩායමක් සමග පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූ විද්‍යා එක්ව කළ පර්යේෂණ ද

1977 දී මහවැලි අධිකාරියේ සැලසුම් අංශය විසින් ද

1986 දී ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සමීක්ෂණ කණ්ඩායමක් විසින් ද

1998 -1999 කොළඹ විශ්ව විද්‍යාලයේ සත්ව විද්‍යා අංශය විසින් ද පර්යේෂණ පවත්වා ඇත. මීට අමතරව පරිසරවේදීන්, සත්ව විද්‍යාඥ්ඥයින් සහ විවිධ ස්වාධීන ගවේෂකයින් විසින් මෙම අපූර්ව හුණුගල් ගුහාව පිළිබද පර්යේෂණ පත්‍රිකා ඉදිරිපත්කර ඇත. පුවත්පත්, සගරා, ලිපි ලේඛන ද සපයා ඇත.

 

 

මෙම හුණුගල් ගුහාවේ තවමත් වැඩෙමින් පවත්නා කිරිගරුඩ නිධියක් දැකිය හැකිය. එමෙන්ම ගුහාවෙන් පිටවන දොරටුව ආසන්නයේ වම් පස තවත් භූ විද්‍යාත්මක වටිනාකමක් ඇති කිරිගරුඩ නිධියක් දැකිය හැකිය. විවිධ සත්ව පොසිල තැන්පත් වූ මෙම හුණුගල් ගුහාවේ පරිසරය පසෙකින් ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාත්මක කැණීම් ක්ෂ්‍රේත්‍රයට නව මානයක් එක් කරනු ඇති. එලෙස ගුහාව තුළ වන කොරල් තට්ටුව ද විශේෂිතය. ශ්‍රී ලංකාවේ ස්වභාවික සෞන්දර්යට කදිම නිදර්ශනයක් වූ වවුල්පන හුණුගල් ගුහාව ජාතික උරුමයකි. මෙය නිසි ලෙස කළමනාකරණය කළහොත් විදෙස් විනිමය මෙන්ම දේශීය විනෝද සංචාරකයින්ගේ ද පාරාදීසයක් වනු ඇති. දේශීය භාණ්ඩාගාරයට ධන උල්පතක් වනු ඇති. සුවදායක සෞම්‍ය දේශගුණික වටපිටාවක පිහිටි මෙම  අපූර්ව නිර්මාණය විදෙස් සංචාරකයින්ගේ මහත් ප්‍රමෝදයට හේතු වනු ඇති.

මෙම සොබාදහමේ අපූර්ව දායාදය නැරඹීමට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින් රැගෙන ආ යුතුම මෙවලම් කිහිපයකි.අමතර ඇදුමක්, හිස් ආවරණයක්, ඊට හේතු වන්නේ, ලක්ෂ සංඛ්‍යාත වවුල් ගණනයකින් යුත් ගුහාවේ ඇවිද යනවිට නියත වශයෙන්ම උන්ගේ වසුරු  සංචාරකයින්ගේ ශරීරය මත පතිත වීමයි. දුර්ගන්ධයෙන් වැළකීමට හැකි නම් මුඛ ආවරණයක් ද හිස් වැසුමක් ද භාවිතා කළ හැකිය.

ගුහාව පුරාම ඇති දැඩි අන්ධකාරය නිසා ප්‍රබල විදුලි ආලෝකයක් / විදුලි පන්දමක් අත්‍යවශ්‍යය. කුඩා දිය කඩිති හා ගල්පරවලින් ගහන ගුහාවේ නොවැටී අනතුරකට ලක් නොවී ඇවිද යාමට එය මහත් උපකාරයකි. මීට අමතරව විශ්වාසනීය මාර්ගෝපදේශකයෙකුගේ උපකාරය ලබා ගැනීම ද උචිතය.

 

 ලොව අන් රටකට සම කළ නොහැකි සොබාදහමේ මෙම අපූර්ව නිර්මාණය  ශ්‍රී ලංකාවට මහත් ආඩම්බරයකි. එය මෙරට ජාතික උරුමයකි. එය අනාගත පරම්පරාව වෙනුවෙන් රැක බලා ගැනීම වර්ථමාන මානව ප්‍රජාවගේ යුතුකමය.

 

සුනිල් බණ්ඩාර කෝරළගේ 

Gallery